VIDEO: ඇමෙරිකාව සමඟ ඇතිකරගත් එකඟතා හෙළි කරන්න – ජවිපෙ

ජ්‍යාතන්තර බල දේශපාලනයේ තීරණාත්මක අවස්ථාවක ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමග මෙරට ජනාධිපතිවරයා ඇතුළු ආණඩුව ඇතිකර ගන්නා එකඟතා මොනවාදැයි වහාම රටට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා අද (28) පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව ප්‍රකාශ කළේ ය.

ඇමරිකාව විසින් කරන ලද යෝජනාවලින් මෙරට ආණ්ඩුව එකඟවූයේ මොනවාටද බැහැරකරන ලද්දේ මොනවාද යන්න සවිස්තරව ජනතාවට හෙළි කළ යුතු බව පැවසූ  අනුර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ලංකාව කිසිදා ජාත්‍යන්තර යුද සංවිධානයක් සමග ගිවිසුම් අත්සන් කර හෝ යුද සංවිධානයකට සහයෝගය පළකර නොමැති බවත් රාජ්‍ය ලේකම්වරයාගේ මෙම ගමනේ අරමුණ ඉන්දියානු සාගරයේ යුද ආධිපත්‍යයේ කොටස්කරුවෙකු බවට, ඊට සහයෝගය දක්වන්නෙකු බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමේ සැලැස්මක් ක්‍රියාවට නැගීමට මුල පිරීම බවයි.

”අපි ආණ්ඩුවට අනතුරු අඟවන්නේ කිසිදු ජාත්‍යන්තර යුද සංවිධානයක පංගුකරුවෙකු හෝ කොටස්කරුවෙකු බවට ශ්‍රී ලංකාව පත් නොකළ යුතු බවටයි. ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ හෝ විදේශ අමාත්‍යවරයාගේ සාකච්ඡාවලදී එක්සත් ජනපදයේ ජාත්‍යන්තර යුද මෙහෙයුමේ කොටස්කරුවන් බවට පත්වීමට ඉඩ නොදිය යුතු බව අපගේ ස්ථාවරයයි.” යනුවෙන්ද ඔහු එහිදී සඳහන් කලේය.

එසේම පොම්පියෝ පැමිණීමට පෙර ඩීල් තොම්සන් සහ ඬේවිඞ් ස්ටීල්වෙල් ප්‍රකාශ කර තිබූ පරිදි එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ යෝජනාවලිය අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාව ගමන් කරන්නේ කවුරුන් සමගද යන්න තීරණය කළ යුතු බවට කර තිබෙන බලපෑම ගැන රටට එළිදරව් කළ යුතු බවද අනුර දිසානායක මහතා අවධාරණය කලේය.

වැඩිදුරටත් අදහස් දක්වමීන් ”මෙය මැදමුලන පොල් වත්ත පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි. නාමල් රාජපක්‍ෂ කියලා තිබුණ ආගන්තුක සත්කාර දක්වමින් තේ එකක් බීලා පිළිගන්නව වගේ දෙයක් නෙවෙයි. ජී.එල්.පීරිස් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබූ පරිදි රාජ්‍යතාන්ත්‍රිකයන් එනවා යනවා වගේ අලුත් දේවල් නොවන බවට කර තිබූ ප්‍රකාශය වගේම බැසිල් රාජපක්‍ෂගේ සමීපතමයන් කියා තිබුණේ එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් වගේ ප්‍රබල නායකයෙක් ලංකාවට පැමිණීම ජයග්‍රහණයක් බවයි. ඔහු මේ නැදෑ ගමනක් පැමිණීමක් නොවේ. ඉතා පැහැදිලිව ඉන්දියානු සාගරයේ යුද ආධිපත්‍යය තහවුරු කරගන්න ඉන්දියාව, ලංකාව, මාල දිවයින සහ ඉන්දුනීසියාව තෝරා ගෙන තිබෙනවා. ජාත්‍යන්තර යුද සැලසුමේ පංගුකරුවෙකු බවට ශ්‍රී ලංකාව පත් නොකළ යුතුයි.”

” ඒ වගේම සෝෆා ගිවිසුම පිළිබඳ තිබූ සාකච්ඡාව මේ චාරිකාවේදී කොතෙක්දුරට ඉස්සරහට ගන්නවද කියල අපි දන්නේ නැහැ. ඒ සියල්ලම අභිබවා ඉන්දියානු සාගරයේ යුද බලය වෙනුවෙන් ලංකාව හවුල් කර ගැනීමේ වුවමනාව ඉදිරියට පැමිණ තිබෙනවා. හැබැයි මේ ආණ්ඩුව ගොඩනැගුවේ දේශප්‍රේමීත්වය තවරාගෙන. මෙයට පෙර එම්.සී.සී. ගිවිසුම පිළිබඳ මොවුන් ප්‍රකාශ කළේ එක්සත් ජනපදයේ ආධිපත්‍යය පතුරුවන්න එන බවට ඊට එරෙහිව සිංහනාද පැතිරවීමයි. ජනතාව කල්පනා කළා, ඔවුන් සැබෑ දේශප්‍රේමීන් බව. ඒ සිංහනාද පැවැත්වූ අය අද වෙනකොට හීන් කෙඳිරියක්වත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අපි හැමදාමත් පෙනී හිටියේ මේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන්. හැබැයි අපි ලෝකයේ රටවල් සමග එකට යා යුත්තේ අපේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය ආරක්‍ෂා කර ගනිමින්. හැබැයි 70 වසරක් පුරා මේ පාලකයන් සිදුකර තිබෙන්නේ ආර්ථිකමය වශයෙන් මේ රට දුබල කර ටි්‍රලියන 14ක විශාල ණය උගුලක රට හිරකර එම ණය ප්‍රමාණයෙන් 48%ක් විදේශීය වශයෙන් ලබාගෙන බරපතළ තත්වයකට පත්කිරීමයි. මේ නිසා ලබන වර්ෂයේදි ඩොලර් කෝටි 600ක මුදලක් ණය වශයෙන් ගෙවිය යුතුව තිබෙනවා. අපේ අපනයන ආදායම ආනයන වියදමෙන් අඩක්වත් සපුරාගන්න අසමත්වී තිබෙනවා. එවැනි ආර්ථිකයක් හමුවේ බලගතු රාජ්‍යයන් විසින් රටේ ස්වාධීනත්වය ස්වෛරීත්වය පා පන්දුවක් බවට පත්කරගෙන තිබෙනවා.

චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය ඒ පාපන්දුවට ප්‍රහාර එල්ල කරනවා. ලෝක බලවතුන් හමුවේ ශ්‍රී ලංකාව අසරණභාවයට පත්කර තිබෙනවා. චීනය පසුගිය කාලයේ ආර්ථිකමය මැදිහත්වීම වගේම දේශපාලන හැරවුම් ලක්‍ෂවලදී මුදල් වැය කර තිබෙනවා. 2015දී සහ ඊට පෙර මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ ජනාධිපතිවරණ සඳහා මුදල් වියදම් කළ බව ලෝකයේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අපි චෙක්පත් අංක සහිතව ඒ ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. බැසිල් රාජපක්‍ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්‍ෂගේ පදනමට චීන සමාගම් මුදල් යෙදූ බව චෙක්පත් අංක සහිතව අපි ඉදිරිපත් කළා. අපේ දේශපාලන අධිකාරිය කොමිස් කප්පම්වලට අත්පත්කරගෙන තිබෙනවා. ඒ මගින් රටට කිසිදු ප්‍රතිඵලදායක නැති විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් සඳහා ණය ගනිමින් උගුලක හිරකරනු ලැබුවා. චීන රජය පාලකයන්ට දොළ පිදේනි ලබාදෙමින් විවිධ අසාර්ථක ව්‍යාපෘති ලබාදී තිබෙනවා. මේ විදිහට ලෝක බලවතුන්ගේ ක්‍රීඩා පිටියක් බවට ශ්‍රී ලංකාව පත්කර තිබෙනවා.”යනුවෙන් සඳහන් කලේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here